කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත 2021 අප්‍රේල් මස 19 වන දින පාර්ලිමේන්තු සභාගත කරන ලදි. පනත් කෙටුම්පතෙහි අරමුණ වූයේ කොළඹ වරාය නගරය බලපවත්වා ගැනීම පිළිබඳ නීතිමය රාමුව සැපයීම වූ අතර එබැවින් එය ඉතා වැදගත් නීති සම්පාදනයකි. යෝජිත පනත් කෙටුම්පත හරහා සුළු පරික්ෂා කිරීමක්  යටතේ සමාගම්වලට සහ බැංකුවලට ලියාපදිංචි වීමට අවස්ථාව සලසා දෙන මූල්‍ය මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම කනස්සල්ලට කරුණකි.[i]

මෙම නීතිය සම්පාදනයට දැක්වූ කඩිනම් ස්වභාවය ද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට නිග්‍රහයක් විය. යෝජිත පනත් කෙටුම්පත කල්තබා ගැසට් පත්‍රයට ඇතුළත් නොකළ අතර එබැවින් ඒ පිළිබඳව මහජන අදහස් ලබා දීමට හෝ මහජන නිරීක්ෂණයට අවස්ථාවක් නොතිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිවේදනය කිරීමෙන් අනතුරුව දින දෙකක් ඇතුළත  පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කර ගන්නා ලද්දේ රටේ කෝවිඩ් 19 තෙවන රැල්ලේ උච්චතම අවස්ථාව අතරතුර දී ය. මෙම ක්‍රියාවලිය අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පූර්ණ  සමාලෝචනයට, වටහා ගැනීමට සහ පනත් කෙටුම්පතට ගෙන එන ලද වෙනස්කම් හඳුනාගැනීමට, ඒ මගින් දැනුම්වත් වූ තීරණයකට එළඹීමට හෝ ප්‍රමාණවත් කාලයක් ලබා නොදෙන ලදි.[ii]

ඇති විය හැකි දූෂණ අවදානම්

  • අක්වෙරළ බැංකු සහ සමාගම් ස්ථාපනය කිරීම සහ ඒවා ප්‍රමාණවත් ලෙස පරීක්ෂාවට භාජනය නොකිරීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණය සහ නීති විරෝධී මුල්‍ය ප්‍රවාහයන් ආකර්ෂණය කරගන්නා තෝතැන්නක් බවට වරාය නගරය පත්විය හැකි ය.
  • ව්‍යාපාර සහ සමාගම්වල සැබෑ හිමිකරුවන්ගේ තොරතුරුවලට ප්‍රවේශ වීමට මහජනතාවට ඇති අවකාශය අවම වීම හේතුවෙන් අපරාධවලින් උපයා ගත් දේපළ  / නීතිවිරෝධී මුදල් සඳහා සුරක්‍ෂිත පරිසරයක් සපයන රහස්‍ය බල ප්‍රදේශයක් බවට වරාය නගරය පත් විය හැකිය.

එයට අමතරව,  මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට භාජනය වීමේ අවදානම පදනම් කර ගනිමින් මූල්‍ය කාර්ය සාධක බලකාය (FATF) රටවල් ශ්‍රේණිගත කරන බැවින් කොළඹ වරාය නගරය හරහා සිදුවන මූල්‍යමය මෙහෙයුම් දැඩි සුපරීක්ෂාවට භාජනය නොවන්නේ නම්, FATF විසින් ශ්‍රී ලංකාව පහතට හෙළීමේ අවදානමට මුහුණ දීමට සිදු වේ. අනෙක් අතට මෙම තත්ත්වය ආයෝජකයන්ගේ විශ්වාසය පලුදු වීමට ද හේතු වනු ඇත.[iii]

අනුගමනය කළ ක්‍රියාමාර්ග

යෝජිත පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් TISL ආයතනයේ පෙත්සම ද ඇතුළුව පෙත්සම් 19ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කරන ලදි.ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලද සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමෙන් අනතුරුව පනත් කෙටුම්පත 2021 මැයි මස 20 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලදි.

කෙසේ වුව ද, කොළඹ වරාය නගරයෙන් නිර්මාණය විය හැකි ඉහත සඳහන් කරන ලද දූෂණ අවදානම් සැලකිල්ලට ගනිමින් TISL ආයතනය දිගින් දිගට ම මෙම නව නීතිය පිළිබඳව බරපතළ ලෙස අවධානය යොමු කරමින් සිටීයි.[iv]

ගත හැකි ක්‍රියාමාර්ග

  • මූල්‍ය කාර්ය සාධක බලකායේ(FATF) මාර්ගෝපදේශ අනුගමනය කරමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධීක්ෂණය ද ඇතුළුව, වරාය නගරයේ ක්‍රියාත්මක වන අක්වෙරළ ආයතනයන් තුළට පැමිණෙන හෝ ඒවායින් පිටතට ගලායන  මුදල් පිළිබඳව ප්‍රමාණවත් ලෙස නිරීක්ෂණය කරන බවට සහතික වීමට  නෛතික හා කාර්ය පටිපාටික පියවර හඳුන්වා දීම වෙනුවෙන් පෙනී සිටීම.
  • වරාය නගරය තුළ ව්‍යාපාර හා සමාගම් හි සැබෑ හිමිකරුවන් පිළිබඳ තොරතුරුවල විනිවිදභාවය වෙනුවෙන් පෙනී සිටීම.

 

[i] https://www.youtube.com/watch?v=7JfPskT_rYs

[ii] https://www.tisrilanka.org/serious-concerns-linger-about-new-colombo-port-city-law/

[iii] https://www.tisrilanka.org/serious-concerns-linger-about-new-colombo-port-city-law/

[iv] https://www.tisrilanka.org/three-key-corruptions-concerns-regarding-the-colombo-port-city-economic-commission-bill/