සීනි වංචාව

සිදු වූ පාඩුව:

රුපියල් බිලියන 15.9[i]

දේශීය නිෂ්පාදන ප්‍රමාණය ඉහළ දැමීමටත් දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීමටත් රජය විසින් කළ ප්‍රතිපත්ති පොරොන්දුවකට අනුව 2020 වසරේ මැයි මස රජය විසින් සීනි ආනයනය සඳහා වූ විශේෂ වෙළඳ බද්ද සීනි කිලෝවකට රුපියල් 35 සිට රුපියල් 50 දක්වා ඉහළ දමන ලදි. 2020 ඔක්තෝම්බර් 14 වන දින එම බද්ද සීනි කිලෝවකට රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කළ අතර ඉන් පසුව රජය විසින් දන්වා සිටියේ සීනි කිලෝවක සිල්ලර මිල පහත හෙළිය නොහැකි බව ය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ඉහළ දමන ලද යම්කිසි බද්දක් බලාත්මක වන්නේ එම බද්ද පනවා මාසයක කාල සීමාවකින් පසුව ය. එම නිසා සංශෝධිත බදු අනුප්‍රමාණය 2020 ඔක්තෝම්බර් 13 වන දිනත් 2020 නොවැම්බර් 13 දිනත් අතර කාල සීමාව තුළ ක්‍රියාත්මක වූයේ නැත. [ii]

ශ්‍රී ලංකාවේ ආනයන සීනි වෙළඳපොළ ආනයනකරුවන් කිහිපදෙනෙක් මත පවතින කතිපයධිකාරී වෙළඳපොළකි. බදු අනුප්‍රමාණය වෙනස් කරමින් ගැසට් පත්‍රය හදිසියේ නිකුත් වීමට පෙර මෙරට ප්‍රධාන සීනි ආනයනකරුවකු වන පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම විශාල සීනි තොගයක් මෙරටට ගෙන්වා බදු නොගෙවා බන්ධිත ගබඩාවක (Bonded warehouse) ගබඩා කර තබා බදු අනුප්‍රමාණය සීනි කිලෝවකට ශත 25 දක්වා පහත වැටුණු පසුව එම සීනි වෙළඳපොළට නිකුත් කර ඇත. මේ කාල සීමාව තුළ මෙම බදු අඩු වීම යොදා ගනිමින් මෙම සමාගම විසින් මෙරටට ගෙන්වා ඇති මුළු සීනි ප්‍රමාණය සීනි මෙට්‍රික් ටොන් 125,000කි. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට අනුව 2020 ඔක්තෝම්බර් මස සිට 2021 පෙබරවාරි මස දක්වා ආනයනය කරන ලද මුළු සීනි ප්‍රමාණයෙන් 39%ක් ආනයනය කර ඇත්තේ මෙම සමාගම විසින් වන අතර ඒ හරහා භාණ්ඩාගාරයට සිදු වූ පාඩුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 15.9කි. [iii] [iv] [v] [vi]

මේ අතර, රාජ්‍ය සතු සමාගමක් වන සතොස ආයතනය ශත 25කට සීනි ආනයනය කළ මෙම සමාගමෙන් සීනි මෙට්‍රික් ටොන් 2000කට වැඩි ප්‍රමාණයක් මිල දී ගෙන තිබුණේ සීනි කිලෝවකට රුපියල් 125 – 127 පමණ මිලක් ලබා දීමෙනි. එවැනි ඉහළ මිලකට මිල දී ගත් සීනි රුපියල් 85ක මිලකට පාරිභෝගිකයාට විකිණීම හේතුවෙන් සතොස රුපියල් මිලියන 75ක පමණ පාඩුවක් ලබා ඇති බව ද වාර්තා වේ.[vii] මෙම සිද්ධිය පිළිබඳව වෝහාරික විගණනයක් සිදු කරන ලෙසට රජයට සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට විවිධ බලපෑම් එල්ල වුවත් එවැනි විගණනයක් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත.

දූෂණ අක්‍රමිකතාව කුමක්ද?

  • යම්කිසි පාර්ශ්වයකට විශේෂිත ප්‍රතිලාභයක් ලැබෙන පරිදි ආනයන බදු සහ මිල ගණන් සම්බන්ධයෙන් හදිසියේ ගැසට් පත් නිකුත් කිරීම.
  • මෙම තත්ත්වය “රාජ්‍ය ග්‍රහණයේ” ලක්ෂණයක්  විය හැකි ය.[viii]
  • රාජ්‍ය ග්‍රහණය යනු රට තුළ හෝ රටින් බැහැරව වෙසෙන යම් පුද්ගලයන්්, ආයතන, සමාගම් හෝ කණ්ඩායම් විසින් සිය පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් රටක ප්‍රතිපත්තීන්, නීතිමය වටපිටාව සහ ආර්ථිකය තමන්ට අවැසි ආකාරයට හැඩගැස්වීමට දූෂණය යොදා ගන්නා තත්ත්වයයි.[ix]

වින්දිතයන් කවුද?

  • මහජනතාව
  • අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීමට සහ ජනතාවට ප්‍රතිලාභ ලබා දිය හැකි අනෙකුත් ව්‍යාපෘතිවලට යෙදවිය හැකි මුදල් මෙහි දී අහිමි වී ඇත.
  • එක් ආනයනකරුවෙකු අයුතු වාසි ලබා ගැනීම නිසා අනෙකුත් සීනි ආනයනකරුවන් මෙහිදී වින්දිතයන් බවට පත්වී ඇත.

අනුගමනය කළ ක්‍රියාමාර්ග

  • ජනතා විමුක්ති පෙරමුණ විසින් බදු ආදායමට රුපියල් බිලියන 15.9ක් පමණ පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබන අය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කරන ලදි. [x]
  • ජනතා විමුක්ති පෙරමුණ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කල බවට වාර්තා වුවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා නොවේ. [xi]
  • රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර ඇති බවට වාර්තා වුවත් එම වාර්තාව මේ වනතුරු ප්‍රසිද්ධියට පත් කර නොමැත.[xii]

ත හැකි ක්‍රියාමාර්ග

  • රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සිදු කරන ලද වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම සහ මෙම වංචාව සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ගේ වගවීම ඉල්ලා සිටීම.
  • හදිසි ගැසට් පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය නියාමනය කිරීමට ඉල්ලා සිටීම. [xiii]
  • රාජ්‍ය ග්‍රහණය පිළිබඳව ජනතාව තුළ දැනුවත් භාවය ඉහළ නැංවීම මගින් ආණ්ඩුකරණය තුළ විනිවිදභාවය සහ වගවීම පිළිබඳව වැඩි ඉල්ලුමක් ඇති කිරීම.

[UPDATE]සීනි වංචාවෙන් රජයට අහිමි වූ බදු පාඩුව ඉන් වාසි ලබා ගත් පාර්ශ්වවලින් අය කර ගැනීමටත්, ජනතාවට ආර්ථික වාසියක් සැලසීම කෙරෙහිත් අවධානය යොමු කරන ලෙස ජාතික විගණන කාර්යාලය විසින් රජයට නිර්දේශ කරන ලද බව 2022 අප්‍රේල් මස වාර්තා විය.

යොමුව – https://www.newsfirst.lk/2022/04/17/sugar-tax-scam-recover-loss-of-rs-16b-from-importer-audit-office/

__________________________________________________________________________

[i] https://www.newsfirst.lk/2021/03/09/sugar-scam-cost-the-state-rs-15-9-bn-in-taxes/

[ii] CORRUPTION CONTINUES: SUGAR SCAM EXPLAINED – MP Eran Wickramaratne on #NewslineSL – 15th March 2021

[iii] https://www.newsfirst.lk/2021/03/09/sugar-scam-cost-the-state-rs-15-9-bn-in-taxes/

[iv] https://island.lk/jvp-calls-for-multi-agency-probe-into-rs-4-bn-gin-nilwala-scam/

[v] https://www.youtube.com/watch?v=gXqf6jTFaDg

[vi] https://www.newsfirst.lk/2021/03/09/sugar-scam-cost-the-state-rs-15-9-bn-in-taxes/

[vii] https://www.newsfirst.lk/2021/03/10/ruling-party-calls-for-forensic-audit-on-sugar-scam/

[viii] https://www.facebook.com/tisrilanka/posts/2988419108067347

[ix] https://www.transparency.org/en/publications/the-anti-corruption-plain-language-guide

[x] https://economynext.com/jvp-files-fr-petition-against-sugar-scam-79719/

[xi] https://www.newsfirst.lk/2021/03/08/what-happened-to-the-sugar-scam/

[xii] https://economynext.com/sri-lanka-sugar-scam-from-midnight-gazette-parliament-committee-calls-for-probe-77669/#modal-one

[xiii] https://www.advocata.org/commentary-archives/tag/Sri+Lanka+Sugar