ඉමියුනෝග්ලොබියුලින් වංචාව

විස්තරය

2024 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදිසි ප්‍රසම්පාදන පියවර මාර්ගයෙන් ආනයනය කරන ලද හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ තොගයක් තත්ත්වයෙන් බාල බවටද එහි සක්‍රීය සංඝටක ඉතා සුළු ප්‍රමාණයක් පමණක් අඩංගු බවට ද නැතහොත් කිසිදු සක්‍රීය සංඝටකයක් අඩංගු නොවූ බවටද හෙළිදරව් විය. මෙම තත්ත්වයෙන් බාල ඖෂධය ඒ වන විටත් රජයේ රෝහල්වලට බෙදා හැර තිබූ අතර, එය රෝගීන්ගේ ආරක්ෂාව සහ නියාමන බිඳවැටීම් සම්බන්ධයෙන් බරපතළ ගැටලු‍ මතු කිරීමට හේතු විය. සැබෑ හදිසි වෛද්‍ය සැපයුම් අවශ්‍යතා සඳහා පමණක් භාවිත කිරීමට අරමුණු කළ ක්‍රමවේදයක් වන ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් නිකුත් කරනු ලබන ලියාපදිංචිය අත්හැරීම් (WOR) යටතේ එම ඖෂධ ආනයනය කර තිබුණි. එම ඖෂධය සඳහා වන අවම ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රමිතීන් පවා සපුරා නොතිබුණද, එම ඖෂධයේ සැපයුම්කරු වන අයිසොලෙස් බයෝටෙක් සමාගමට ඒ සඳහා අනුමතය ලබා දී තිබුණු බව විමර්ශනවලදී හෙළිවිය. 2023 වර්ෂයේදී ඒ හා සමාන තත්ත්වයන් යටතේ එම හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියම භාවිත කර තිබූ නමුත් ඒ සඳහා කිසිදු නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. සාමාන්‍ය නියාමන පරීක්ෂණ මගහැර යමින් සහ පෙරදී සැපයුම්කරුවන්ගේ ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් වූ බිඳවැටීම් නොසලකා හරිමින් නැවතත් ලියාපදිංචිය අත්හැරීම් භාවිත කිරීම තුළින් වෛද්‍ය සැපයුම් අනුමත කිරීමේදී සහ මිලදී ගැනීමේදී බරපතල දෝෂ හෝ අවභාවිතයන් සිදුව ඇති බව පෙන්නුම් කෙරේ. මෙය දූෂණය, නොසැලකිලිමත්කම සහ රජයේ නිලධරයන් සහ පෞද්ගලික සැපයුම්කරුවන් අතර රහසිගත එකඟතාවන් තිබිය හැකි බවට චෝදනා ඉදිරිපත් වීමට හේතු විය.

මීට ප්‍රතිචාර ලෙස, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින්, වගවීම සහ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෙනත් ප්‍රධාන ක්‍රියාකාරීන් ඇතුළු වගඋත්තරකරුවන් හැටහය දෙනෙකු නම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SCFR/99/2024) ගොනු කරන ලදී.

සිදුව ඇති දූෂණය කුමක්ද?

හදිසි ප්‍රසම්පාදන රීති නිසි ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂණවලින් තොරව ඖෂධ ආනයනය කිරීම සඳහා අවභාවිත කර ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින්, ඇතැම් සැපයුම්කරුවන්ට සාමාන්‍ය ලියාපදිංචි කිරීමේ සහ පරීක්ෂණ ක්‍රියාවලි මගහැර යාමට ඉඩලබා දෙමින් ලියාපදිංචිය අත්හැරීම් (WOR) ප්‍රදානය කරන ලදී.

එවැනි එක් සැපයුම්කරුවකු වන, අයිසොලෙස් බයෝටෙක් ආයතනය විසින් සක්‍රීය සංඝටක සුළු ප්‍රමාණයක් පමණක් අඩංගු වූ නැතහොත් කිසිදු සක්‍රීය සංඝටකයක් අඩංගු නොවූ, තත්ත්වයෙන් බාල හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සපයනු ලැබූ අතර, රෝගීන් අවදානමට ලක් කරමින් එම ඖෂධය රජයේ රෝහල්වලට බෙදාහැර ඇත.

2023 වර්ෂයේදී සමාන ආනයන සම්බන්ධයෙන් සිදු වූ ගුණාත්මකභාවයේ බිඳවැටීම් නොතකා, නැවතත් එම සැපයුම්කරුවන්ම සහ එම හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියම භාවිත කරනු ලැබූ අතර, එමගින් නොසැලකිලිමත්භාවය හෝ හිතාමතා සිදුකරන ලද නොසැලකිල්ල ප්‍රදර්ශනය වේ.

එසේ නැවතත් ප්‍රසම්පාදන නීති සහ ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු නොකිරීම තුළින්, අදාළ නිලධරයන් සහ පෞද්ගලික සමාගම් අතර රහසිගත එකඟතාවයක් තිබූ බවටද දූෂණයක් සිදුවූ බවටද පෙනෙන අතර, එමගින් තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කර විකිණීමට ඉඩ ලැබී ඇත.

විමර්ශනවලින් සහ පැමිණිලිවලින් හෙළිදරව් කරනු ලැබූ තෙක් මෙම අවදානම් සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කර නොතිබූ අතර, විනිවිදභාවයෙන් සහ වගවීමෙන් තොරව කටයුතු කර ඇති බව ඉන් පෙනේ.

ඊට අදාළ මූල්‍ය වටිනාකම

මෙම බැක්ටීරියා ආසාදිත ආදේශකය සැබෑ වශයෙන්ම රෝගීන් කොපමණ සංඛ්‍යාවකට ලබා දී ඇත්ද යන්න අපැහැදිලි නමුත් ඩොලර් මිලියන 2.925ක්, එනම්, ආසන්න වශයෙන් රුපියල් මිලියන 960ක්වූ කොන්ත්‍රාත්තුවක් යටතේ වයල් 22,500ක් ආනයනය කර ඇති බවට වාර්තාවේ:
https://www.ft.lk/opinion/How-bacteria-exposed-a-scandal/14-779758

මිනිස් ජීවිත, රෝගීන්ගේ ආරක්ෂාව සහ මහජන විශ්වාසයට පුළුල් ලෙස සිදුවන බලපෑම වැනි මූල්‍යමය නොවන පිරිවැය පිළිබඳ සලකා බැලීම අවධාරණය කළ යුතු ඉතා වලංගු සහ වැදගත් කරුණක් වේ. මෙම මානව සහ පද්ධතිමය පිරිවැය බොහෝ විට මූල්‍ය අලාභවලට වඩා බොහෝ සෙයින් වැඩිවන අතර, මෙය හුදෙක්ම සංඛ්‍යාත්මක අගයන්ට වැඩි වැදගත්කමකින් යුත් කරුණක් වන්නේ මන්ද යන්න ඉන් පිළිබිඹු වේ.

සිදුකර ඇත්තේ කුමක්ද?

තත්ත්වයෙන් බාල ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීම සම්බන්ධයෙන් හෙළිදරව්වීමෙන් පසු, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් සහ වෙනත් අදාළ ආයතන/අධිකාරින්වල වගවීම තහවුරු කිරීම සඳහා විමර්ශනයක් ඉල්ලා සිටිමින් 2024 වර්ෂයේ අප්‍රේල් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම පිළිගෙන, විගණන කටයුතු අවසන් කරන තෙක් ප්‍රශ්නගත ප්‍රසම්පාදනයට අදාළ ගෙවුම් මුදල් ක්‍රියාවිරහිත කිරීම ද ඇතුළුව අධීක්ෂණය ශක්තිමත් කිරීම සඳහා 2024 වර්ෂයේ නොවැම්බර් මස අතුරු නියෝග නිකුත් කරන ලදී. සිදුව ඇතැයි කියනු ලබන දූෂණය සහ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කරන ලෙස, අධිකරණය විසින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වැනි ආයතන වෙත නියෝග කරන ලදී. මේ අතර, TISL ආයතනය විසින්, ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ විනිවිදභාවය වැඩි කිරීම සහ අකටයුතු නාදකරන්නන් සඳහා වන ආරක්ෂාව තර කිරීම සඳහා සක්‍රීයව පෙනී සිටින ලදී. තවද, මාධ්‍ය වාර්තා සහ මහජන සාකච්ඡා මගින් හදිසි වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදන නියෝග වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ දැනුවත් කරන ලදී.

ගනු ලැබු ක්‍රියාමාර්ග:

TISL ආයතනය විසින් 2024 වර්ෂයේ අප්‍රේල් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SCFR/99/2024) ගොනුකරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩුව ඉදිරියට ගෙනයාම සඳහා අවසර ලබාදී 2024 වර්ෂයේ නොවැම්බර් මාසයේදී අතුරු නියෝග නිකුත් කරන ලදී.

විගණන අවසන් කරන තෙක්, ‍ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ප්‍රසම්පාදනයට අදාළ ගෙවුම් මුදල් ක්‍රියාවිරහිත කරන ලදී.

මාස හයක් ඇතුළත විෂමාචාරය පිළිබඳ විමර්ශනය කර වාර්තා කරන ලෙස අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නියෝග කරන ලදී.

TISL ආයතනය විසින්, වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදන තුළ විනිවිදභාවය වැඩිකිරීම සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සඳහා බලපෑම් කරන ලදී.

මාධ්‍ය සහ මහජනයා විසින් සිදුකරන ලද බලපෑම් හේතුවෙන් මෙම කරුණු පිළිබඳ දැනුවත්භාවය සහ පාර්ලිමේන්තු සාකච්ඡා වැඩි වී ඇත.

අකටයුතු නාදකරන්නන් සඳහා වන ආරක්ෂාව තර කිරීම සහ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.

සිදුකළ හැක්කේ කුමක්ද?

සිදුකළ හැක්කේ කුමක්ද

පුර්ණ වගවීම තහවුරු කිරීම සහ අනාගතයේදී සිදුවිය හැකි අවභාවිතයන් වළක්වාගැනීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ගත යුතුව තිබේ. විමර්ශන ආයතන, එනම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ස්වකීය පරීක්ෂණ විනිවිදභාවයෙන් යුතුව සහ ඉක්මණින් අවසන් කර තමන් විසින් සොයාගත් කරුණු ප්‍රසිද්ධ කරනු ලැබිය යුතු ය. රජය විසින්, නොසැලකිලිමත්භාවයට හෝ දූෂණයට වගකිවයුතු බවට හෙළිදරව් වූ නිලධරයන්ට සහ සැපයුම්කරුවන්ට එරෙහිව අපරාධ නඩුපැවරීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම සිදුකරනු ලැබිය යුතුය. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින්, වඩාත් ප්‍රබල ආරක්ෂණ පියවර, අනිවාර්ය අවදානම් ඇගයීම් සහ ස්වාධීන අධීක්ෂණ යන්ත්‍රණ හඳුන්වා දෙමින් හදිසි ප්‍රසම්පාදන ප්‍රතිපත්ති ඉතා ඉක්මණින් ප්‍රතිසංස්කරණය කරනු ලැබිය යුතුය. අධිකරණය සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින්, සාමාන්‍ය ලියාපදිංචි කිරීම සහ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් වන රීති මගහැර යමින් ප්‍රදානය කරන ලද ලියාපදිංචිය අත්හැරීම් සඳහා අධිකරණ හෝ පාර්ලිමේන්තු සමාලෝචන ක්‍රියාවලි පිහිටුවීම පිළිබඳ සලකා බලනු ලැබිය යුතුය. TISL ආයතනය සහ සිවිල් සමාජය විසින්, පළිගැනීම් සිදුකිරීම පිළිබඳ බිියවීමෙන් තොරව වාර්තා කිරීම සඳහා දිරිගන්වන අකටයුතු නාදකරන්නන් සඳහා වන ආරක්ෂක ක්‍රියාපිළිවෙත් ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම, ඒ සඳහා මහජනයාගේ දායකත්වය ලබාගැනීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම දිගටම සිදුකරගෙන යනු ලැබිය යුතුය. අවසාන වශයෙන්, නැවතත් මහජන විශ්වාසය ගොඩනැගීම පිණිස, අවභාවිත කළ මහජන මුදල් ආපසු අයකරගැනීම සඳහා යාන්ත්‍රණ හඳුන්වාදීම සහ බලපෑමට ලක් වූ රෝගීන්ට වන්දි ලබාදීම සඳහා ප්‍රබල ක්‍රියාමාර්ග ගනු ලැබිය යුතුය.

තවදුරටත් ගත යුතු ක්‍රියාමාර්ග:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කඩිනමින් විමර්ශන අවසන් කර ස්වකීය වාර්තා පළ කරනු ලැබිය යුතුය.

වගකිවයුතු තැනැත්තන්ට සහ සමාගම්වලට එරෙහිව අපරාධ නඩු පැවරීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම කරනු ලැබිය යුතුය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින්, වඩාත් දැඩි ආරක්ෂණ පියවර හඳුන්වාදෙමින් හදිසි ප්‍රසම්පාදන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කරනු ලැබිය යුතුය.

ලියාපදිංචිය අත්හැරීම් සහ හදිසි ප්‍රසම්පාදන සඳහා අධිකරණ හෝ පාර්ලිමේන්තු සමාලෝචන හඳුන්වා දෙනු ලැබිය යුතුය.

TISL ආයතනය සහ සිවිල් සමාජය විසින්, මේ කරුණ දිගටම අධීක්ෂණය කිරීම සහ ඒ සඳහා මහජන සහභාගිත්වය ලබා ගැනීම කරනු ලැබිය යුතුය.

ආරක්ෂිත ලෙස දූෂණය පිළිබඳ වාර්තා කිරීම දිරිගැන්වීම සඳහා අකටයුතු නාදකරන්නන් සඳහා ප්‍රබල ආරක්ෂණ පියවර හඳුන්වා දෙනු ලැබිය යුතුය.

අවභාවිත කළ මහජන මුදල් ආපසු අයකර ගැනීම සහ බලපෑමට ලක්වූ රෝගීන් සඳහා වන්දි ලබාගැනීම කරනු ලැබිය යුතුය.

අධිකරණය සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින්, අනාගතයේදී සිදුවිය හැකි අවභාවිතයන් වළක්වාගැනීම පිණිස නීති රාමු ශක්තිමත් කරනු ලැබිය යුතුය.

සබැඳි

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින්, 2024 වර්ෂයේදී මතභේදයට තුඩු දුන් තත්ත්වයෙන් බාල හියුමන්  ඉමියුනෝග්ලොබියුලින් සහ වෙනත් වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදනය සක්‍රීය ලෙස වාර්තා කර ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ලදී. එසේ වාර්තා කිරීම ප්‍රධාන වශයෙන් , TISL ආයතනයේ නිල මාධ්‍ය සාකච්ඡා මෙන්ම ප්‍රධාන මාධ්‍ය ආයතනවල එම ප්‍රවෘත්තිය ආවරණය කිරීම ද ඇතුළත් විය. පහත සබැඳින් වලින්  අත්‍යාවශ්‍ය තොරතුරු, විශ්ලේෂණ සහ උද්දේශන පසුබිම  දැක්වේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා. (2024). TISL ආයතනය විසින් හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සහ අනෙකුත් මතභේදයට තුඩුදුන් වෛද්‍ය සැපයුම් ආනයනය කිරීම සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී;
https://www.tisrilanka.org/tisl-files-fr-petition-over-human-immunoglobulin-and-other-controversial-medical-supplies/

සන්ඩේ ටයිම්ස්.  (2024, අප්‍රේල් 21). TISL ආයතනය විසින් ව්‍යාජ ඉමියුනෝග්ලොබියුලින් ඇතුළු මතභේදයට තුඩුදුන් වෛද්‍ය සැපයුම් මිලදීගැනීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන ලදී;

https://www.sundaytimes.lk/240421/news/tisl-goes-to-supreme-court-over-controversial-purchases-of-medical-supplies-including-counterfeit-immunoglobulin-554614.html

හිරු නිවුස්. (2024).  අදාළ මුදල්  ආපසු අයකර ගැනීම සහ වන්දි ලබාගැනීම සඳහා හියුමන් ඉමියුනෝග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී;
https://www.hirunews.lk/en/367742/fr-petition-filed-over-human-immunoglobulin-scandal-for-recovery-of-costs-and-compensation

ලංකා වෙබ් – ඉමියුනෝග්ලොබියුලින් වංචාව : වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට;
https://www.lankaweb.com/news/items/2024/03/13/im munoglobulin-scandal-medical-supplies-divisions-deputy-director-arrested-at-bia/

ඩේලි මිරර් – තත්ත්වයෙන් බාල ඉමියුනෝග්ලොබියුලින් එන්නත් ආනයනය: හිටපු සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට;
https://www.dailymirror.lk/front-page/Import-of-substandard-Immunoglobulin-injections-Former-Deputy-Director-of-Health-Services-arrested/238-274532

This website uses cookies to improve your web experience.