ලංකා විදුලිබල මණ්ඩලය

විස්තරය

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) යනු රට පුරා විදුලිබලය උත්පාදනය කිරීම, සම්ප්‍රේෂණය කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් වගකීම දරන ශ්‍රී ලංකාවේ රජය සතු විදුලිබල උපයෝගිතා ආයතනය වේ. මෑත කාලයේ දී, විශේෂයෙන්ම 2024 වර්ෂයේදී දූෂණය, අකාර්යක්ෂමතාව සහ වැරදි කළමනාකරණය පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වෙත මහජනයාගේ අවධානය යොමුව ඇත. මෙම ගැටලු‍ ඉහළ විදුලි පිරිවැය, නිරන්තර අලාභ සහ පුනර්ජනනීය බලශක්තියට පරිවර්තනයවීම ඇතුළු බලශක්ති ක්ෂේත්‍රය සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් ඇති වීමට හේතු වී ඇත. පෞද්ගලික විදුලි උත්පාදකයන් සමඟ ඇතිකරගත් ප්‍රශ්නගත ගිවිසුම්, ප්‍රසම්පාදන ක්‍රියාවලියෙහි විනිවිදභාවයක් නොතිබීම සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ විෂයයෙහි සිදුවූ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් සිදුකළ හෙළිදරව් කිරීම් හේතුවෙන් ලංකා  විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් මහජන විවේචනය තීව්‍ර වන ලදී. සිදුකර ඇතැයි චෝදනා ලැබූ මෙම ක්‍රියාකාරකම් මහජන ප්‍රතිලාභය පසෙකලා පෞද්ගලික ප්‍රතිලාභය සහ ලාභ ප්‍රයෝජන උදෙසා ජාතික බලශක්ති ප්‍රතිපත්තිය හසුරුවා ඇති බවට සැක මතු කිරීමට හේතු වී ඇත.

සිදුව ඇති දූෂණය කුමක්ද?

2024 වර්ෂයේ දී සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ඒ වන විටත් අනුමත කර තිබූ සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් නිර්දේශ කර තිබූ ව්‍යාපෘතිද ඇතුළුව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති බොහොමයක් සඳහා අනුමැතිය ලබාදීම හිතාමතාම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වෙත නැවතත් අවධානය යොමුවන ලදී. මෙය අභ්‍යන්තර බාධාකිරීම් සහ කඩාකප්පල් කිරීම් සම්බන්ධයෙන් බරපතළ සැක මතු කිරීමට හේතු විය.
අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් සහ ඉංජිනේරුවන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධරයන් විසින් පොසිල ඉන්ධන ආනයනය කිරීම් සහ හදිසි විදුලි මිලදීගැනීම් සම්බන්ධයෙන් තමන්ට ඇති ලාභ ප්‍රයෝජන ආරක්ෂා කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම නතර කිරීම සඳහා තීරණ ගැනීමට බලපෑම් කර ඇති බව හෙළිදරව් වූ අභ්‍යන්තර සන්නිවේදන සහ සාක්ෂිවලින් පෙන්නුම් කෙරේ.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2024 වර්ෂයේදී නැවත වරක් හදිසි විදුලි මිලදීගැනීම් සඳහා තරඟකාරී ලංසු තැබීමේ කාර්ය පටිපාටි මගහැර යමින් විනිවිදභාවයෙන් තොරව සහ සාධාරණ හේතුවකින් තොරව ඉහළ පිරිවැයකින් යුත් ගිවිසුම්වලට ඇතුළත් වූ බවට චෝදනා එල්ල වී ඇත.

නියමිත ප්‍රමිතීන් සපුරා තිබුණද, එය නොතකා, ලංකා විදුලි බල මණ්ඩලය විසින් තම යෝජනා දින නියමයක් නොමැතිව නතර කරනු ලැබූ බවට නැතහොත් අත්තනෝමතික ලෙස නැවත තක්සේරු කිරීමට යටත් කරනු ලැබූ බවට සූර්ය සහ සුළං විදුලි ව්‍යාපෘති සංවර්ධනකරුවන් කිහිපදෙනෙකු විසින්ම ප්‍රසිද්ධියේ චෝදනා ඉදිරිපත් කර ඇත. ඉන් ඇතැමෙක්ගෙන් තම යෝජනා සඳහා අනුමැතිය ලබාදීම සඳහා අල්ලස් ලබාදෙන ලෙස හෝ හිතවත්කම් හෝ වෙනත් සම්බන්ධතා භාවිත කරන ලෙස ඉල්ලීම් කර ඇති බවටද වාර්තා වේ.

කලින් එම අනුමැතීන් විෂයයෙහි අධීක්ෂණ බලය දරන ලද ආයතනය වන මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රධාන තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් ඉවත් කර එහි බලතල දුර්වල කර ඇති අතර, එය සංවරණ රහිතව තීරණ ගැනීමේ බලය ලංකා විදුලිබල මණ්ඩලය තුළම කේන්ද්‍රගත කර තබා ගැනීමට ප්‍රයත්න දැරීම සම්බන්ධයෙන් සැක මතු කිරීමට හේතු වී ඇත.

2024 වර්ෂයේ වාර්තාවලින් ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීම් සිදුකිරීමේදී සිදුව ඇති දේශපාලන මැදිහත්වීම පිළිබඳ පෙන්වා දෙනු ලැබූ අතර, එහි වාර්තා කර තිබූ පරිදි බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රමාණවත් පළපුරුද්දක් හෝ තාක්ෂණික පසුබිමක් නොමැති තැනැත්තන් කිහිපදෙනෙකුද දේශපාලන සම්බන්ධතා මත එසේ පත්කර ඇත.

2024 වර්ෂයේ පළ කරන ලද විමර්ශන වාර්තාවලින්, එකම සමාගම් කිහිපයකට පමණක් හදිසි තත්ත්වයන් යටතේ විදුලිය මිලදීගැනීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම තුළින් කලින් සැලසුම්කළ ගනුදෙනු හෝ රහසිගත එකඟතාවක් පිළිබඳ හැඟවෙන සිද්ධීන් පෙන්වාදෙන ලදී.

පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය විෂයයෙහි සිදුවූ ප්‍රමාදයන් තාක්ෂණික හේතු මත නොව ලංකා විදුලිබල මණ්ඩලයේ සිටින දැනට පවත්නා තත්ත්වය දිගටම පවත්වාගෙන යාම තුළින් වාසි ලබන තැනැත්තන් කණ්ඩායමක් විසින් හිතාමතා කරන ලද බාධා කිරීම් හේතුවෙන් සිදුවූවක් බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු සිවිල් සමාජය විසින් සැක මතු කරන ලදී.

2024 වර්ෂයේදී ගිවිසුම්, තක්සේරු නිර්ණායක හෝ ප්‍රසම්පාදන ලේඛන ප්‍රගාමී ලෙස පළකර නොතිබීම රහසිගතභාවය සහ දූෂණය සම්බන්ධයෙන් වන සැකය තවදුරටත් තහවුරු කිරීමට හේතු වී ඇත.

ඊට අදාළ මූල්‍ය වටිනාකම

අලාභ සහ අක්‍රමික ගනුදෙනුවල නිශ්චිත මූල්‍ය වටිනාකම සම්පූර්ණයෙන් හෙළිදරව් වී නොමැති නමුත්, 2024 වර්ෂයේ පුවත්පත් ලිපිවලට අනුව, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීම ප්‍රමාද කිරීම, හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා තරඟකාරී ලංසු තැබීම මගහැරයාම සහ දේශපාලන සම්බන්ධතා මත කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම ඇතුළුව ලංකා විදුලිබල මණ්ඩලයේ දූෂණ පිළිවෙත් හේතුවෙන් රුපියල් බිලියන 50-70 දක්වා වූ මූල්‍ය අලාභයක් සිදුව ඇති බවට ද තක්සේරු කර ඇත. තවද, මෙම අලාභ සිදුවීමට අධික මිලකින් යුත් හදිසි විදුලි මිලදීගැනීමේ ගනුදෙනු, අඩු මිලකින් යුත් පුනර්ජනනීය බලශක්ති සඳහා වන අවස්ථා අහිමිවීම සහ අකාර්යක්ෂම ප්‍රසම්පාදනය හේතුවී ඇත.

සිදුකර ඇත්තේ කුමක්ද?

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින්, මාධ්‍ය ප්‍රකාශ, ලිපි සහමාධ්‍ය හමු මගින් ලංකා විදුලිබල මණ්ඩලය තුළ පවතින දූෂණය සහ පාලනයේ බිඳවැටීම් පිළිබඳ හෙළිදරව් කිරීම සහ අවධාරණය කිරීම කරන ලදී. මෙයට, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීම ප්‍රමාද කිරීම් සහ විනිවිදභාවයෙන් තොරව අඛණ්ඩව හදිසි විදුලි මිලදීගැනීම් මඟින් ඇති වන අවදානම් පිළිබඳ පෙන්වාදීමද ඇතුළත් විය.

විදුලිය මිලදීගැනීමේ ගිවිසුම්වලට අදාළ ලේඛන, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් වන ලිපිගනුදෙනු සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ ලබාගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) භාවිත කිරීම සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සහාය ලබාදෙන ලදී. මෙම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිත කිරීම මගින් සොයාගත් කරුණු මහජනයා දැනුවත් කිරීම සඳහා සහ මාධ්‍ය සහ සහයෝගිතා ප්‍රයත්නවලට සහාය ලබාදීම සඳහා භාවිත කරන ලදී.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින්, විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන පිළිවෙත්, ස්වාධීන අධීක්ෂණය සහ ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට කරනු ලබන පත්කිරීම් දේශපාලන මැදිහත්වීම්වලින් තොරව සිදුකිරීම සඳහා ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙස ඉල්ලා සිටින ලදී. තවද, මෙම නිර්දේශ අදාළ රජයේ ආයතන සහ අදාළ උනන්දුවක් දක්වන පාර්ශ්ව වෙත සන්නිවේදනය කරන ලදී.

තම වාසි සහ ලාභ ප්‍රයෝජන පිණිස බලශක්ති ප්‍රතිපත්තිය හැසිරවීම සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නතර කිරීම සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන සහ බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් 2024 වර්ෂයේදී ස්වාධීන ලෙස අනතුරු හඟවන ලදී. එසේම, ඇතැම් සංවර්ධනකරුවන් සහ ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්ව විසින් ඒ පිළිබඳ සාක්ෂි සහ ලේඛන ද ඉදිරිපත් කරන ලදී.

මාධ්‍යවේදීන් සහ ස්වාධීන මාධ්‍ය ආයතන විසින්, ඇතැම් ව්‍යාපෘති හිතාමතාම ප්‍රමාද කළ ආකාරයද ලංකා විදුලිබල මණ්ඩලය තුළ සිටින කුඩා කණ්ඩායමක් විසින් පෞද්ගලික හෝ දේශපාලන වාසි තකා ප්‍රධාන තීරණවලට බලපෑම් කළ ආකාරයද හෙළිදරව් කරමින් 2024 වර්ෂයේදී විමර්ශන වාර්තා පෙළක් පළකරන ලදී.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ වගවීම වෙනුවෙන් පෙනීසිටින වෙනත් සංවිධාන විසින්, මහජන උපයෝගිතා ආයතන රජයේ ග්‍රහණයට ගැනීම සහ මහජන උපයෝගිතා ආයතනවල පවතින දුෂණය මගින් ඇතිවන බලපෑම් පෙන්වාදීමට ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් වන මෙම නිදසුන භාවිත කරනු ලැබූ අතර, එබැවින්, විශේෂයෙන්ම මහජන සම්පත් හසුරුවන ක්ෂේත්‍රවලට පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලෙස ද ඉල්ලා සිටින ලදී.

සිදුකළ හැක්කේ කුමක්ද?

පොදු මාර්ගගත වේදිකාවක් තුළ ලංසු තැබීමේ ලේඛන, තෝරාගැනීමේ නිර්ණායක, ප්‍රදානය කළ කොන්ත්‍රාත්තු සහ මිල ගණන් පිළිබඳ විස්තර පළකිරීම ද ඇතුළුව සියලු‍ විදුලි ප්‍රසම්පාදන ක්‍රියාවලීන් විෂයයෙහි පූර්ණ විනිවිදභාවයෙන් කටයුතු කිරීම අනිවාර්ය කිරීම.

‍ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) කාර්යභාරය දුර්වල කිරීම සඳහා දරන ලද ප්‍රයත්න වෙනස් කරමින්, බලශක්තිය හා සම්බන්ධ සියලු‍ ප්‍රධාන තීරණ නියාමනය කිරීම, අනුමත කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට වැඩි නීත්‍යනුකූල බලයක් සහ ස්වාධීනත්වයක් ලබා දී එය ශක්තිමත් කිරීම.

විමර්ශන අවසන් වන තෙක්, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට බාධා කිරීමට හෝ අක්‍රමික ප්‍රසම්පාදන තීරණවලට සම්බන්ධ තැනැත්තන්ගේ සේවය අත්හිටුවීම හෝ ඔවුන් සේවයෙන් ඉවත් කිරීම. ඊට, විශ්වසනීය සාක්ෂි ඇති විටදී, අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්, ඉංජිනේරුවන් හෝ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට සම්බන්ධ තැනැත්තන්ද ඇතුළත් වේ.

දූෂණ පිළිවෙත්වල යෙදී ඇති බවට, බලය අවභාවිත කර ඇති බවට හෝ චේතනාන්විත තීරණ මගින් රජයට මූල්‍ය අලාභයක් සිදුකර ඇති බවට සාක්ෂි හෙළිදරව් වන අවස්ථාවක, රටේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ එම නිලධරයන්ට විරුද්ධව අපරාධ නඩු පැවරීම.

තරඟකාරී ලංසු තැබීම මගහැර අත්සන් කරන ලද විදුලිය මිලදීගැනීමේ ගිවිසුම් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින්, 2023 සහ 2024 වර්ෂවල අත්සන් කරන ලද සියලු‍ම විදුලිය මිලදීගැනීමේ ගිවිසුම් ජාතික විගණන දෙපාර්තමේන්තු මාර්ගයෙන්   විගණනය කර, ප්‍රශ්නකාරී සිද්ධීන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත යොමු කිරීම.

සබැඳි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්, මෙගා වොට් 350ක විදුලිය මිලදීගැනීමේ ගිවිසුමක් අත්සන් කිරීම මගින් සම්බන්ධතා අතර ගැටුමක් සිදුකිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති, ආචාර්ය තිලක් සියඹලාපිටියට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කරන ලදී:
https://ceylontoday.lk/2025/07/05/ciaboc-complaint-
against-former-ceb-chair/

ආචාර්ය සියඹලාපිටියගේ පත්වීමෙන් පසු ඔහුගේ උපදේශන ආයතනය විසින් ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමග දිගටම වැඩකටයුතු කරගෙන ගිය බවට චෝදනා කරමින් විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය (ECA) විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී:
https://www.themorning.lk/articles/Tu2SgFoDmCv2Jd5D XbqR

ලංකාසර විසින් සිදු කරන ලද අනාවරණය : LTL   හෝල්ඩින්ග්ස් ආයතනය සමග ඇතිකරගත් සහස්දනවි ව්‍යාපෘති ගිවිසුම සම්බන්ධයෙන් වන බැඳියාවන් අතර ගැටුම් සිද්ධිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව :
https://lankasara.com/news/former-ceb-chairman-faces-ciaboc-complaint-over-conflict-of-interest/

 

 

This website uses cookies to improve your web experience.