සිවිල් අවකාශය සීමාකිරීම සඳහා වන මර්දනකාරී නීති – රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පනත් කෙටුම්පත, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත

විස්තරය

2024 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ සිවිල් සමාජය, සමාජ ක්‍රියාකාරීත්වය සහ අදහස් ප්‍රකාශ කිරීම සඳහා වන අවකාශය දිගටම සීමා කිරීමක් සිදුවූ බව පෙනේ. නීති කිහිපයක්; එනම්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (පනවන ලද), ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (පැනවීමට නියමිතව තිබෙන) සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පනත් කෙටුම්පත (සකස් කරමින් පවතින) හේතුවෙන් සිවිල් අවකාශය සීමාකිරීමේ අවදානමක් මතුවීම සම්බන්ධයෙන් පුරවැසියන්, සිවිල් සමාජ සංවිධාන සහ ජාත්‍යන්තර නිරීක්ෂකයන් අතර සැක මතු වී ඇත. ජාතික ආරක්ෂාව, මහජන සාමය හෝ ඩිජිටල් ආරක්ෂාව උදෙසා පනවන්නේ යැයි කියනු ලබන මෙම නීති මගින් විධායකයට සහ රජයේ අධිකාරිවලට සංවරණයකින් තොර බලයක් හිමිවීමේ අවදානමක් මතු වේ. 2024 වර්ෂයේ මුල් භාගයේදී සම්මත කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත මගින්, රජය විසින් පත්කරනු ලබන කොමිෂන් සභාවකට මාර්ගගත ක්‍රමවල අන්තර්ගත දෑ නියාමනය කිරීම සහ ඉවත් කිරීම සඳහා පුළුල් බලතල ලබාදී ඇත. ‍ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ප්‍රතියෝජනය කිරීමේ අරමුණින් පැනවීමට නියමිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ද විරුද්ධ අදහස් පළකරන තැනැත්තන් අත්අඩංගුවට ගැනීම හෝ නිහඬ කිරීම සඳහා භාවිත කළ හැකි අපැහැදිලි සහ පුළුල් අර්ථනිරූපණ ඇතුළත් වේ. එමෙන්ම, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පනත් කෙටුම්පත මගින් සිවිල් සමාජ සංවිධාන ලියාපදිංචි කිරීම සහ ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමට අපේක්ෂා කරන අතර, එමගින් රජයට එම සංවිධානවල වැඩකටයුතුවලට මැදිහත්වීම සඳහා අසීමිත අභිමතානුසාරී බලයක් හිමිවනු ඇත.

එක්ව ගත්කළ, මේ නීති මගින් පුරවැසියන්ට සහ සිවිල් සමාජයට කථා කිරීමට, සංවිධානය වීමට සහ වගවීම සම්බන්ධයෙන් බලපෑම් කිරීමට ඇති හැකියාව දුර්වලවීමේ අවදානමක් මතු වේ.

සිදුව ඇති දූෂණය කුමක්ද?

නීති මගින් බලධරයන්ට වෙබ් අඩවි අවහිර කිරීමට, පැහැදිලි හේතුවක් නොමැතිව මිනිසුන් අත්අඩංගුවට ගැනීමට හෝ විනිවිදභාවයකින් තොරව සංවිධාන වසා දැමීමට ඉඩ ලබා දෙන විට, වැරදි ක්‍රියා හෙළිදරව් කිරීම සහ  වාර්තා කිරීම දුෂ්කර වේ. සිවිල් සමාජය විසින් අල්ලස්, බලය අවභාවිත කිරීම සහ මහජන මුදල් අවභාවිත කිරීම හෙළිදරව් කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබේ. වැරදි යමක් සිදුවන බොහෝ විට මාධ්‍යවේදීන්, අකටයුතුකම් දැනුම්දෙන්නන් සහ ප්‍රජා කණ්ඩායම් විසින් ඒ පිළිබඳ හඬනගනු ලැබේ. එහෙත් මර්දනකාරී නීති මගින් ඔවුන් නිහඬ කළ විට හෝ ඔවුන්ට තර්ජනය කළ විට, දූෂණය අභියෝගයට ලක් නොවේ. මෙම නීති මහජනයා ආරක්ෂා කිරීම සඳහා නොව බලයේ සිටින තැනැත්තන් විවේචනයට ලක්වීමෙන් ආරක්ෂා කිරීම සඳහා, තෝරාබේරාගෙන සහ දේශපාලනික ලෙස භාවිත කරනු ලැබිය හැකිය.

උදාහරණ:

රජයේ ගිවිසුමක අක්‍රමිකතා හෙළිදරව් කරන අන්තර්ජාල පළ කිරීමක් “අසත්‍ය බව හෝ හානිදායක බව” හුවා දක්වමින් ඉවත් කරනු ලැබිය හැකිය.

සාමකාමී විරෝධතාකරුවකු ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යටතේ “තර්ජනයක්” ලෙස නම් කරනු ලැබිය හැකිය.

ප්‍රසම්පාදන වංචාවක් පිළිබඳ විමර්ශනය කරන රාජ්‍ය නොවන සංවිධානයක ලියාපදිංචිය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පනත් කෙටුම්පත යටතේ අහිමි කරනු ලැබිය හැකිය.

ඊට අදාළ මූල්‍ය වටිනාකම

අදාළ නොවේ

සිදුකර ඇත්තේ කුමක්ද?

TISL ආයතනය විසින්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතෙන් සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අයිතිවාසිකම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් උල්ලංඝනය වන්නේ කෙසේද යන්න අවධාරණය කරමින් නීතිමය විශ්ලේෂණ පළ කරන ලදී. මෙම විශ්ලේෂණවලින් අපැහැදිලි අර්ථනිරූපණ, අසීමිත බලතල සහ සංවරණ හා තුලන නොමැතිකම පිළිබඳ පැහැදිලි කරන ලදී.

TISL ආයතනය විසින්, ඉහතකී පනත් කෙටුම්පත් දෙකම සම්බන්ධයෙන් අදාළ පාර්ලිමේන්තු කාරක සභා වෙත ස්වකීය අදහස් ලිඛිතව ඉදිරිපත් කරන ලදී. මෙම කරුණු ඉදිරිපත් කිරීම්වලින්, සිවිල් සමාජය සහ පුද්ගල නිදහස විෂයයෙහි ඇතිවිය හැකි අවදානම් පෙන්වා දී, ඉහතකී පනත් කෙටුම්පත් දෙකටම සැලකිය යුතු ප්‍රතිශෝධන කරන ලෙස හෝ එම පනත් කෙටුම්පත් දෙකම සම්පූර්ණයෙන් ම ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටින ලදී.

2024 වර්ෂයේ ජනවාරි මාසයේ දී, සිවිල් සමාජ නායකයන් එකසිය විසිපස් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සහ තිහකට වැඩි සංවිධාන සංඛ්‍යාවක් විසින්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ප්‍රසිද්ධ ප්‍රකාශයකට අත්සන් කරන ලදී.
https://www.ft.lk/opinion/Online-Safety-Bill-and-Anti-Terror-Bill-law-making-to-end-democracy-and-fundamental-rights/14-754373

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් බෙදාහරිනු ලැබූ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පනත් කෙටුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබා දී තිබුණද සහ ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා සති තුනක කාලයක් පමණක් ලබාදී තිබුණද, සිවිල් සමාජ සංවිධාන විසින් එම පනත් කෙටුම්පතට නිල වශයෙන් ප්‍රතිචාර දක්වන ලදී.

Government Proposes a Law to Control NGO Activity

සිවිල් අවකාශය සීමාවීම සහ විනිවිදභාවය සහ සහභාගිත්වය සඳහා සැබෑ කැපවීමක් නොතිබීම සම්බන්ධයෙන් සාමූහික ලෙස ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්, සිවිල් සමාජ සංවිධාන කිහිපයක් විසින් ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව (OGP) ක්‍රියාවලියෙන් ඉවත්වන ලදී. මෙම ඉවත්වීම රජය විසින් විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ මූලික මූලධර්ම වන විවෘතභාවය, වගවීම සහ හවුල් නිර්මාණය තහවුරු කිරීමට අපොහොසත්ව ඇති බව පෙන්වන ප්‍රබල සාක්ෂියක් වූ අතර, එමගින් රට තුළ ස්වාධීන සිවිල් සහභාගිත්වය සඳහා වන අවකාශය සීමාවීම සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන අතර කනස්සල්ලක් වර්ධනය වෙමින් පවතින බව පිළිබිඹු වේ. (මූලාශ්‍රය: සිවිල් සමාජ සංවිධාන විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව ක්‍රියාවලියෙන් ඉවත්වේ;
https://www.ft.lk/front-page/CSOs-withdraw-from-Open-Government-Partnership-process/44-758265

TISL ආයතනය විසින්, 2024 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ගොනු කරන ලදී.

සිදුකළ හැක්කේ කුමක්ද?

මෙම නීතිවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කිරීම සඳහා මූලික අයිතිවාසිකම් පෙත්සම් සහ වෙනත් නෛතික පියවර ආරම්භ කිරීම හෝ ඊට සහාය දැක්වීම. TISL ආයතනය විසින් මේ වන විටත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ගොනුකර ඇත.

විශේෂයෙන්ම, ප්‍රායෝගික නිදර්ශන සහ සිද්ධි අධ්‍යයන මාර්ගයෙන්, මෙම නීති සාමාන්‍ය ජනතාවට බලපාන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම සඳහා සමාජ මාධ්‍ය, මහජන සංසද සහ බිම් මට්ටමේ සහභාගිත්වය ප්‍රයෝජනයට ගැනීම.

මෙම නීති විරුද්ධ අදහස් යටපත් කිරීම, නීත්‍යනුකූල පළකිරීම් ඉවත් කිරීම හෝ සිවිල් සමාජ සංවිධානවලට හිරිහැර කිරීම සඳහා භාවිතා කරන අවස්ථා හඳුනාගෙන ඒ පිළිබඳ වාර්තා කිරීම. ඒ සඳහා, මහජනයාට ප්‍රවේශවිය හැකි සිද්ධි හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සංවර්ධනය කරනු ලැබිය හැකිය.

සීමාකාරී නීතිවලට එරෙහිව එක්සත් පෙරමුණක් පිහිටුවීම සඳහා සිවිල් සමාජ සංවිධාන, මාධ්‍ය, නීතිඥවරුන් සහ ක්‍රියාකාරීන් සමඟ ශක්තිමත් ජාල සහ සන්ධාන ගොඩනැගීම.

සබැඳි

TISL ආයතනය විසින්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය මගින් එම පනත් කෙටුම්පතෙන් සිවිල් සමාජයේ නිදහස විෂයයෙහි සිදුවිය හැකි බලපෑම අවධාරණය කරනු ලැබූ අතර, ඒ සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීම සහ එම පනත් කෙටුම්පත අධිකරණය ඉදිරියෙහි අභියෝගයට ලක් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන ලදී.
https://www.ft.lk/opinion/Online-Safety-Bill-and-Anti-Terror-Bill-law-making-to-end-democracy-and-fundamental-rights/14-754373

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් අලු‍ත් නීතියක් හඳුන්වා දීම සඳහා රජය විසින් කර ඇති යෝජනාව පිළිබඳ සාකච්ඡා කරනු ලැබූ අතර, එහිදී, සිවිල් සමාජය නියාමනය කිරීම සහ සිවිල් සමාජය විෂයයෙහි රජයේ අධීක්ෂණය වැඩිවිමේ විභවතාව සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳ අවධාරණය කරන ලදී;
https://groundviews.org/2024/05/14/governmentpropose s-a-law-to-control-ngo-activity/

EU SEE (2024 අප්‍රේල්) https://eusee.hivos.org/alert/draft-ngo-law-reinforces-political-oversight-on-ngos/

හියුමන් රයිට්ස් වොච් (2024 ජනවාරි)
මාර්ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇති අදහස් පළ කිරීම සීමා කිරීම සඳහා බලධරයන්ට බලය දෙන අපැහැදිලි විධිවිධාන පිළිබඳ ප්‍රශ්න කරන ලදී.
https://freedomhouse.org/country/sri-lanka/freedom-net/2024

ඇක්සස් නවු (2024 ජනවාරි)
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ඉවත් කර ගෙන උනන්දුවක් දක්වන පාර්ශ්ව සමඟ අර්ථවත් සාකච්ඡා පවත්වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනු ලැබේ.
https://www.accessnow.org/press-release/open-letter-sri-lanka-must-withdraw-online-safety-bill/

This website uses cookies to improve your web experience.